අලුත උපන් ඔබේ බිළිඳාට වැලඳිය හැකි රෝග

දරුවකු මව්කුස තුළ සිටින විට පෝෂණය හා ආරක්ෂාව නොඅඩුව ලැබේ. නමුත් දරුවා බිහි වූ පසුව පරිසරයේ ඇති අභියෝග හමුවේ ස්වාධීනව ජීවත් වීමට සිදුවන අතර එහිදී විවිධාකාර ගැටලුවලට මුහුණ දීමට සිදුවේ. පෝෂණය පිළිබඳ සලකා බැලීමේදී මව්කුස තුළ නම් ඔවුන්ගේ සියලුම පෝෂණ අවශ්‍යතා සම්පූර්ණ වේ.

පසුව දරුවා මොලොවට බිහිවන විට මවගේ පෙකෙනි වැලෙන් වෙන් කළ විට දරුවාට තමාගේ පෝෂණ අවශ්‍යතාව සපුරා ගැනීම ස්වාධීනව කිරීමට සිදු වේ. එතැනදී මවගේ මව්කිරිවලින් දරුවා පෝෂණය ලබා ගනු ලැබේ. මෙම මව්කිරිවල සියලුම පෝෂණ සංඝටක පමණක් නොව දරුවාට මුල්කාලීනව අවශ්‍ය ආරක්ෂාවත් එමඟින් සපයාගත හැකි වේ.

ඒ නිසා දරුවා බිහි වූ පසුව හැකි ඉක්මනින් මව්කිරි ලබාදීම කළ යුතු වේ. නමුත් මෙහිදී මව්වරු, මව්කිරි ලබාදීමේදී විශාල ගැටලු ප්‍රමාණයකට මුහුණ දේ. එහිදී මව්කිරි ලබාදීම ආරම්භ කිරීම, එය පවත්වා ගෙන යාම, මව්කිරි ලබාදීමේදී ඇතිවන ගැටලු, මව්කිරි නොදීමට ඇතැම් අයගේ ඇති පෙළඹීම හා යම් යම් රෝග අවස්ථා පිළිබඳ විමසා බැලිය යුතු වේ.

ඊට අමතරව දරුවා බාහිර පරිසරයට නිරාවරණය වීමේදී විවිධාකාර විෂබීජවලට නිරාවරණය වේ. මව්කුස තුළ පෙර පැහැදිලි කළ ලෙස දරුවාට විෂබීජවලින් ආරක්ෂා වීමට හැකි වුවත් මෙලොවට බිහි වීමෙන් පසු තනිව ඒවාට මුහුණ දීමට සිදුවේ. ඒ වගේම පරිසරයේ ඇති යම් යම් සාධක වන උෂ්ණත්ව වෙනස් වීම්, වාතාශ්‍රය හා අනෙකුත් සාධක වලට දරුවා මුහුණ දෙන්නේ කෙසේද යන්න විමසා බැලිය යුතු අනෙක් සාධකයි.

අලුත උපන් දරුවෙකු සම්බන්ධයෙන් ඇතිවන ප්‍රධාන ගැටලුකාරී අවස්ථා වන මව්කිරි සම්බන්ධ ගැටලු, පාරිසරික සාධකවලට අනුවර්තනය වීම් හා විසබීජ වලට නිරාවරණය වීම යන හේතු තුන යටතේ වෙන් වශයෙන් තොරතුරු විමසා බැලීම ඉතා වැදගත් වේ.

මව්කිරි පිළිබඳ කතාබහ කිරිමේදී දරුවා ඉපදුණු විගස මව්කිරි ලබාදීම ඉතා වැදගත් වේ. දරුවා ඉපදුණු විටම එසේ මව්කිරි ලබාදීම වැදගත් වන්නේ මවගේ මානසික තත්ත්වයට එමඟින් සිදුවන බලපෑම හෝර්මෝන උත්තේජනය හා දරුවා මව්කිරි උරාබීම මත මවගේ කිරි නිපදවීම තීරණය වන නිසයි.

නමුත් එහිදී යම්කිසි ගැටලුවකින් තොරව ඉපදුණු දරුවෙකු නම් මේ මව්කිරි උරාබීමේ අභියෝගය සාර්ථකව ජය ගත්තත් බොහෝවිට අඩු බර, නොමේරූ දරුවන් මෙන්ම ප්‍රසුතියේදී ඇතිවන විවිධ සංකූලතා නිසා දරුවා බිහිවූ විගස මව්කිරි සඳහා යොමු කිරීම පමා වේ. මෙසේ දරුවා ඉපදී පළමු පැය 1/2 තුළ මව්කිරිවලට යොමු කිරීමට නොහැකි වීමෙන් මව්කිරි නිපදවීම අඩපණ වී යයි.

ප්‍රසූතිය යනු ඉතාමත් වේදනාකාරී අවස්ථාවකි. එම වේදනාව නිසා ඇතිවන ආතතිය නිසා මව්කිරි නිපදවීම අඩපණ විය හැකියි. මෙසේ දරුවා පළමු පැය භාගය තුළ මව්කිරි ලබාදීමට යොමු කළත් ප්‍රසූත වේදනාව නිසා ඇතිවන මානසික තත්ත්වය නිසා කිරි නිපදවීම අඩුවිය හැකි වේ.

මව්කිරිවලට හුරුකිරීම හා ඉන් පසුවත් ගැටලු ඇතිවනවා නේද?
මෙහිදී ඇතිවන ප්‍රධාන ගැටලුව කොතරම් වෙලාවක් මව්කිරි ලබාදිය යුතුද යන්නයි. බොහෝ වෙලාවට නොදැනුවත්කම නිසා පැයකට ආසන්න කාලයක් දරුවෙකු මව්කිරි උරා බොනු ලැබේ. නමුත් මෙසේ දිගින් දිගටම මව්කිරි උරාබීම නිසා යම් යම් සංකූලතා, ගැටලුවලට මුහුණ දීමට සිදුවිය හැකි වේ.

මෙහිදී මවට මව්කිරි ප්‍රමාණවත් තරම් තිබෙනවා නම් විනාඩි 05ක් හෝ 10ක් මව්කිරි ලබාදීමෙන් එම අවශ්‍යතාව සැපිරේ. ඉන් පසුව දරුවා සෑහීමකට පත් වී මව්කිරි උරාබීම නතර කරනු ලැබේ. නමුත් එසේ නොමැතිව දීර්ඝකාලයක් මව්කිරි උරාබීම නිසාත් මවට ප්‍රමාණවත් තරම් කිරි ප්‍රමාණයක් නොතිබුණ හොත් දරුවාගේ ආමාශය තුළට වාතය එකතු විය හැකියි.

මේ නිසා සිදුවන සංකූලතා ගණනාවකි. දරුවා මව්කිරිවලට යොමු කිරීමෙන් පසු විනාඩි 5කින් හෝ 10 කින් දරුවා සෑහීමකට පත් වෙනවා නම්, දරුවා මව්කිරි උරාබී සිනා සීම හෝ නින්දට යනවා නම් දරුවාට ප්‍රමාණවත් අයුරින් කිරි ලැබී ඇති බව ඉන් අදහස් වේ. නමුත් දරුවා පැය 1/2වත් කිරි උරා බොනවා නම් නිසිපරිදි දරුවාට කිරි නොලැබී ඇති දැයි යම් සැකයක් මතුවිය හැකි වේ.

දරුවාගේ මුත්‍රා කිසිම වර්ණයකින් තොරව දිවා කාලයේ නම් 7, 8 වතාවක් පිට වේ නම් දරුවාට මව්කිරි ප්‍රමාණවත්ව ලැබුණු බව ඉන් අදහස් වේ. නමුත් නිසිපරිදි ප්‍රමාණවත් කිරි ප්‍රමාණයක් නොලැබීමෙන් මුත්‍රා පිටවන වාර ප්‍රමාණය අඩුවීම හා සාන්ද්‍රණය වැඩි නිසා තරමක් කහපැහැයට හුරු වේ.

ඒ වගේම දරුවා කිරි උරාබොනවිට කිරි වෑස්සෙනවාද නැද්ද යන්න මවට ද යම් අවබෝධයක් ඇති වේ. ඒ වගේම දරුවාගේ වයසත් සමඟ වර්ධනය වන බර සටහන් කළ විට වයසට අනුව නිසි බරක් පවතිනවා නම් එය නිසි පරිදි කිරි ලැබෙන බවට හොඳ ඉඟියකි.

දරුවාට කිරි ප්‍රමාණවත් නොවන බව සිතා ඇතැම් මව්වරු වෙළඳපොලේ ඇති ආදේශක කිරිවලට යොමු වේ. මෙහි පවතින වෛද්‍ය විද්‍යාත්මක සත්‍යය කුමක්ද?
මව්වරු පමණක් නොවේ ඔවුන්ට උපදෙස් දෙන අය (වැඩිහිටියන්, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇතැම් අය පවා) මෙම තීරණය ලබාදීම කෙතරම් දුරට සාධාරණදැයි විමසා බැලිය යුතු වේ. බර සටහනේ සුළු අඩුවක් දුටුවහොත් දරුවාට කිරි ප්‍රමාණවත් නොවන බව සිතා පිටි කිරි සඳහා යොමු වීමට උපදෙස් දෙනු ලැබේ.

දරුවකුගේ බර අඩු වීමට හේතුවන්නේ මේ කරුණ පමණක් නොවේ. දරුවාගේ ආහාර හා ස්වසන මාර්ගය ආශි‍්‍රතව ඇතිවිය හැකි ආසාදන පිළිබඳවද අවධානය යොමු කළ යුතු වේ. මෙවැනි විටෙක දරුවකුගේ බර සුළු කාලයකදී අඩු වීමේ හැකියාවක් ඇත. එහිදී අනවබෝධය නිසා දරුවන් පිටිකිරිවලට යොමු කළත් එහිදී අප දරුවාව තවත් අවදානමකට ඇද දමනු ලැබේ.

එනම් මව්කිරිවල පෝෂණයට අමතරව දරුවාට ලබාදෙනු ලබන ආරක්ෂාව ද පිටිකිරි මඟින් නොලැබී යාමයි. ඒ නිසා ආදේශකයක් ලෙස පිටිකිරි භාවිතය දරුවාගේ ආරක්ෂාවට තර්ජනයක් වනවා පමණක් නොව මවගෙන් කිරි උරා නොබීම නිසා කිරි නිෂ්පාදනය අඩු වීමට ද එය හේතුවක් වේ.

සාමාන්‍යයෙන් මාස 06දී දරුවාට අමතර ආහාර ලබා දුන්නත් අවම වශයෙන් අවුරුදු දෙකක්වත් දරුවාට මව්කිරි ලබාදිය යුතු වේ. ඊට හේතුව කායික මානසික වර්ධනය හා ආරක්ෂාව ඉන් අඩුවිය හැකි නිසයි. යම් ආසාදනයක් දරුවාට ඇති වී තිබේ නම් සුළු කාලයකදී දරුවා කිරි උරා බීම අඩු කළත් ඉන් පසුව සාමාන්‍ය මට්ටමට පත් වූ විට යථා තත්ත්වයට පත් වේ.

දරුවාගේ බර අඩු නම් පිටිකිරිවලට දරුවා යොමු කරනු ලැබේ. ඒ අදහස හරිද? දරුවාට ලබාදෙන මව්කිරි ප්‍රමාණවත් නම් දරුවාගේ වර්ධනය ඉතා යහපත් වේ. ඊට හේතුව මව්කිරිවල පෝෂණයට අමතරව දරුවාගේ වර්ධනයට අවශ්‍ය වර්ධන සාධකයක් මව්කිරිවල අඩංගු වේ. බොහෝ වේලාවට වැඩිපුර මව්කිරි උරාබොන දරුවන් අධික ලෙස වර්ධනය වන අවස්ථා ද දැකගත හැකියි. එහිදී ඇතැම්විට මව්කිරි ලබා දිමට අවශ්‍ය නියමිත පැය ප්‍රමාණය පිළිබඳ මව්වරුන්ට උපදෙස් ලබාදීමට සිදු වේ. නමුත් පිටිකිරිවලට යොමු වීමෙන් වඩාත් ගැටලුකාරී අවස්ථාවන්ට මුහුණ දීමට සිදුවිය හැකියි. නමුත් පිටිකිරිවල පිෂ්ඨ ප්‍රමාණය වැඩි වීමක් තිබිය හැකියි. නමුත් එය දරුවාගේ ප්‍රශස්ත වර්ධනයක් ලෙස සැලකිය නොහැකි වේ.

මව්වරු පැයට 2,3 වරක් දරුවාට මව්කිරි ලබා දීමට උත්සාහ කරනු ලැබේ. මෙසේ දරුවාට කිරි ලබාදීමේදී බඩට එකතුවන වාත ප්‍රමාණය වැඩිවිය හැකි අතර දරුවා අපහසුතාවෙන් දැඟලීමට හැකියි. නමුත් මව්වරු මෙය වරදවා වටහාගෙන දරුවාට කුසගිනි යැයි සිතා නැවත නැවත කිරි ලබාදීමට උත්සාහ කරනු ලැබේ. එතැනදී දරුවාගේ අපහසුතාව තව තවත් වර්ධනය විය හැකි අතර දරුවාට කිරි වමනය හා කිරි ස්වසන මාර්ගයට පවා පැමිණිය හැකියි. ඒ වගේම රාත්‍රී කාලයේදී පැය දෙකෙන් දෙකට දරුවාට කිරි ලබාදීමට අවශ්‍ය නොවේ. කිරි ලබාදෙන පැය 3ක් 4ක් හොඳින් නිදා ගන්නවා නම් නැවත කිරි ලබාදිය යුත්තේ දරුවා ඇහැරුණු පසුවයි. කිරි ලබා දුන්නාට පසුව දරුවාගේ කුස තුළ පිරී ඇති වාතය ඉවත් කිරීමට දරුවා ඔසවා තබාගෙන ගුඩුස් යැවිය යුතු වේ. ඒ කි‍්‍රයාවලිය ඇතැම්විට නිසිලෙස සිදු නොවීමෙන් කිරි වමනය හා ස්වසන මාර්ගය දක්වා කිරි යාම ආදිය ඇතිවිය හැකි වේ.

දරුවාට ඇතිවිය හැකි ආසාදන පිළිබඳ පැහැදිලි කළහොත්? වෛරස්, බැක්ටීරියා හා දිලීර වර්ග ප්‍රධාන වශයෙන් දරුවකුට හානි ඇතිකර විය හැකියි. ඒ නිසා දරුවාට සුළු ආසාදිත තත්ත්ව සිට මරණීය අවදානම් කරා යොමු කරවිය හැකියි. ඒ වගේම වැඩිහිටියන් ලෙස අපි විසින් සිදුකරන වැරදි සහගත ක්‍රියාද ඊට බොහෝදුරට හේතු වේ.

මේ අතුරින් බහුලව ඇතිවන්නේ සමේ ඇතිවන ආසාදනයි. සමේ සැරව බිබිලි ඇතිවීම, පෙකෙණිවැල ආශි‍්‍රතව ඇතිවන ආසාදන, ඇස්වල ඇතිවන ආසාදන ආදිය බහුලව ඇතිවන අතර ස්වසන මාර්ගයේ, නාසය, උගුර, ආහාර මාර්ග ආශි‍්‍රත පාචනය වැනි ආසාදිත තත්ත්ව මෙහිදී හඳුනාගත හැකි වේ.

දරුවෙකුගේ ප්‍රතිශක්තිය සාමාන්‍ය වැඩිහිටියෙකු සමඟ බැලීමේදී මූලිකව යම් අඩු තත්ත්වයක පවතියි. දරුවෙකු මව්කුස තුළ සිටින අවසන් මාස 03 දී ඔවුන්ගේ ප්‍රතිශක්තිය වර්ධනය වේ. ඕනෑම අයෙකුගේ ශරිරයේ ප්‍රතිශක්තිය වර්ධනය වන්නේ විසබීජ සඳහා මුහුණ දෙන ප්‍රමාණය අනුවය. 3ඒ විසබීජ අඳුනා ගන්නා සෛල ද ශරීරය තුළ වර්ධනය වේ. ඒ වගේම විසබීජ හඳුනාගෙන ශරීරයට හොඳ ප්‍රතිශක්තියක් (දරුවන් විසබීජවලට මුහුණ දෙන ප්‍රමාණය මත) ඇති වේ. ඇතැම් දරුවන් ඉතාමත් අසාමාන්‍ය ආකාරයෙන් ප්‍රවේසම් කරන නිසා දරුවන්ට ඉතා හොඳ ප්‍රතිශක්තියක් ඇති වේ. නමුත් අලුත ඉපදුණු දරුවෙකු පරිසරයට නිරාවරණය කළ යුත්තේ යම්කිසි සීමාවකට බව ඔබ මතක තබා ගත යුතු වේ. ඊට හේතුව ඉපදුණු අලුත දරුවාට උපරිම ප්‍රතිශක්තියක් නොමැති විය හැකි වීමයි.

සමේ ආසාදනවලදී ශරීරයේ නිරාවරණය වු ස්ථාන ආශි‍්‍රතව සැරව බිබිලි ඇතිවිය හැකි වේ. (උදා. බෙල්ල, කිහිලි, ඉකිලි, ආදී ස්ථාන) මේවාට නිසි ප්‍රතිකාර නොයෙදීමෙන් රුධිරයට මිශ්‍ර වී අවසානයේ මොළය දක්වා මේවා පැතිරිය හැකි වේ. ඒ නිසා මුල්ම අවස්ථාවේ නිසි ප්‍රතිකාර කිරිම වැදගත් වේ.

පෙකෙනි වැල සවිවන ස්ථානය ගැටලු ඇතිවන අනෙකුත් ප්‍රධානම ස්ථානය වේ. නිරෝගී දරුවෙකුගේ පෙකෙනි වැල ඉපදී දින 5ක් 7ක් තුළ ඉබේම වැටී යයි. පසුව එම ස්ථානයේ සුළු වශයෙන් තරලයක් හෝ රුධිර වහනයක් ඇති වී පසුව එය සුව අතට හැරෙයි.

නමුත් යම් ආසාදනයක් තිබේ නම් සැරව ඇතිවීම, දුගඳ ඇතිවීම ඒ ආශි‍්‍රත රත් පැහැයක් ගත හැකි වේ. කුඩා දරුවෙකුගේ මේ තත්ත්වය රුධිරය දක්වා පැතිරුණහොත් අක්මාවට බලපෑම් ඇති කරවිය හැකි වේ. මෙය තරමක් බරපතළ බැවින් මුල් අවස්ථාවේ ප්‍රතිකාර කිරීම ඉතා වැදගත් වේ.

ඇසේ ආසාදන පිළිබඳ කතාබහ කරන විට විවිධ බැක්ටීරියා වර්ග නිසා ගැටලු ඇති වේ. ස්වසන පද්ධතිය ආශි‍්‍රතව ඇතිවන ප්‍රධාන ගැටලුව වන්නේ නාසයේ අවහිරතායි. වෛරස් නිසා ඇතිවන මෙන්ම නාසයේ අවහිරතා, හුස්ම ගැනීමේ අපහසුතා ආදියට හේතු සහගත වේ.

නියමිත ප්‍රතිකාර ප්‍රමාද වීමෙන් පෙනහලු දක්වා තත්ත්වය වර්ධනය විය හැකියි. අඩු බර දරුවන්ට නම් ප්‍රතිශක්තිය අඩු වීම මත මෙවැනි ගැටලු මඟින් භයානක බලපෑම් ඇති කරවිය හැකියි. ආසාදනයක ප්‍රධාන ලක්ෂණය නම් උණ තත්ත්වයයි. නමුත් නොමේරූ දරුවෙකුගේ ශරීරයේ පවතින උණ පැහැදිලිව දැකගත නොහැකි වේ.

ඇතැම්විට ඔවුන්ගේ උෂ්ණත්වය, ආසාදනයක් තිබුණත් අඩුවිය හැකි නිසා එය අඳුනා ගැනීමේ හැකියාව අඩු වේ. මේ නිසා ප්‍රතිකාර ප්‍රමාද වී දරුවාට බරපතළ තත්ත්වයක් ඇතිවිය හැකි වේ. මෙහිදී දරුවාගේ බාහිරින් රෝග තත්ත්වය හඳුනාගත හැකි කිසිදු ලක්ෂණයක් නොමැති නම් එතැනදී දරුවා කිරි බීම ප්‍රතික්ෂේප කිරීම, වමනය, මළානික ස්වභාවය හුස්ම ගැනීමේ අපහසුතා හා දරුවා කහපැහැ ගැන්වීම ද දැකගත හැකි වේ. එවැනි විටෙක ප්‍රධාන වශයෙන් මෙම ලක්ෂණ මඟින් ආසාදනයක් ඇති නැති බව පැහැදිලිව හඳුනාගත හැකි වේ.

ලිපි සැකසුම – නුවන්ති කුලරත්න
උපදෙස් – කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය හැරිස් පතිරගේ මහතා
උපුටා ගත්තේ – දිනමිණ ආරෝග්‍යා පුවත් පතෙන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *